විෂාදය

ඔබගේ මානසික තත්වය යහපත් කර ගැනීමට සහ මානසික අවපීඩන තත්වයෙන් සුවයක් ලබා ගැනීමට ඔබට අනුගමනය කල හැකි ප්‍රධාන පියවර කිහිපයක් පවතී.

ඔබගේ ඖෂධ නිසි පරිදි ලබා ගන්න.

ඖෂධ ගන්නා විටදී ඔබට යම් සුවයක් දැනුනද, නියමිත මාත්‍රාවෙන් අඛන්ඩව ඔබගේ විෂාදනාශක ඖෂධ (antidepressants) ලබාගැනීම ඉතා වැදගත් වේ. ඔබ ඖෂධ ලබා ගැනීම නියමිත කාලයට පෙර නැවැත්වුවහොත් ඔබගේ මානසික අවපීඩන තත්වය නැවත මතු වනු ඇත. ඔබට ඔබ ගන්නා ඖෂධ පිලිබඳ යම් ගැටලුවක් පවතී නම් ඔබගේ වෛද්‍යවරයා හෝ ඖෂධවේදියා සමග සාකච්ඡා කල හැකිය. වේදනා නාශක හෝ පෝෂණ අතිරේකයක් වැනි වෛද්‍ය නියමයකින් තොරව ගතහැකි යමක් ගැනීමට ඔබ අදහස් කරන්නේ නම් ඊට පෙර ඔබගේ වෛද්‍ය වරයාගෙන් උපදෙස් ගැනීම වඩා උචිත වේ. මන්ද ඇතැම් විට ඒවා විෂාධනාෂක ඖෂධයන් (anti depresents) සමග අන්තර්ක්‍රියා කල හැකිය.

ආහාර පාලනය සහ ව්‍යායාම

කොතරම් ඉක්මනින් ඔබ මානසික අවපීඩන තත්වයෙන් සුවය ලබන්නේද යන්න කෙරෙහි, ව්‍යායාම කිරීම සහ නීරෝගී ආහාර රටා මගින් සැලකිය යුතු වෙනස් කමක් ඇතිකල හැකිය. එමගින් ඔබගේ සාමාන්‍ය සෞඛ්‍යය ද ඉහල නංවනු ඇත. සෞඛ්‍යයට හිතකර ආහාර වේලක් ගැනීම මගින් ඔබගේ මානසික තත්ත්වය යහපත් කර ගත හැකිය. ඇත්තෙන්ම, සෞඛ්‍යයට හිතකර පරිදි ආහාර ගැනීම ඔබගේ කායික සෞඛ්‍ය ගැටලු වලක්වා ගැනීමට වැදගත් වන්නා සේම ඔබගේ මානසික සෞඛ්‍යය පවත්වා ගැනීම ද වැදගත් වේ. මානසික අවපීඩනයේ රෝගී ලක්ෂණ අවම කර ගැනීම සදහා විෂාද නාශක (anti depressants) ඖෂධ භාවිතය තරමටම ව්‍යායාම් කිරීම ද ඵලදායක බව පර්යේෂණ මගින් සොයාගෙන ඇත. කායිකව ක්‍රියාකාරී වීම මගින් ඔබගේ මානසික තත්ත්වය යහපත් කරන අතර එමගින් ඔබගේ මානසික ආතතිය සහ කාංසාවද අඩු කර ඔබේ ශරීරය තුල එන්ඩොපින් නම් රසායන ද්‍රව්‍ය (ඔබට සතුට දැනවීමට හේතු වන රසායන ද්‍රව්‍ය කි) ස්‍රාවය වැඩිකර ඔබගේ ආත්ම අභිමානය ඉහල නංවනු ඇත. ව්‍යායාම කිරීම ඔබට රිනාත්මක අදහස් වලින් සිත මුදවා ගැනීමට හොද ක්‍රමයක් විය හැකිය. එසේම එමගින් ඔබගේ සමාජ ඇසුර ඉහල නැංවිය හැකිය.

ඒ පිළිබඳව අදහස් දැක්වීම

ඔබගේ ගැටලුවක් අන් පුද්ගලයකු සමග හෝ කණ්ඩායමක් සමග බෙදා හදා ගැනීම මගින් ඔබට සහයක් ලබා ගත හැකි අතර ඔබට ඔබගේ මානසික අවපීඩන තත්ත්වය පිළිබඳව හොඳ අවබෝධයක්ද ලැබෙනු ඇත. මානසික අවපීඩන තත්ත්වයෙන් සුවය ලබා ගැනීමට මෙන්ම මානසික ආතති තත්ත්වයට හොදින් මුහුණ දීමට එසේ කතාබස් කිරීම උපකාර විය හැකි බව පර්යේෂණ මගින් සොයාගෙන ඇත. අන් අය සමග එසේ ඔබගේ මානසික සෞඛ්‍යය තත්ත්වය පිළිබඳව හෝ ඔබගේ ආතති තත්ත්වයන් පිළිබඳව කතාබස් කිරීම ඔබට අපහසුතාවක් ඇතිකල හැකිය. එය එසේ නම්, ඔබට දැනෙන දේ ලිවීම හෝ ඔබගේ හැගීම් කවියෙන් හෝ කලාත්මක නිර්මාණ හරහා ප්‍රකාශ කිරීම ඔබගේ මානසික තත්ත්වය යහපත් කර ගත හැකි අනෙකුත් ක්‍රම වේ. සහය කණ්ඩායම් ලැයිස්තුවක් සහ ඔවුන් සමග සම්බන්ධ විය හැකි ආකාරය පිළිබඳව විස්තරයක් පහත සදහන් වේ.

දුම් පානය, මත්ද්‍රව්‍ය සහ මද්‍යසාර භාවිතය

ඔබට මානසික අවපීඩන තත්ත්වයක් පවතින විට ඉන් සහනයක් ලබා ගැනීම සදහා දුම් පානයට හෝ මත්පැන් පානයට පෙලඹීමක් ඇතිවිය හැකිය. දුම් වැටි සහ මත්පැන් මගින් මුලදී උපකාරයක් ලැබෙන බවක් දැනුනද කල් යාමේ දී එමගින් තත්ත්වය තවත් නරක අතට හැරෙනු ඇත. ගංජා භාවිතා කරන්නේ නම් තවත් සැලකිලිමත් විය යුතුය. ඔබ ඇතැම් විටදී එය අනතුරුදායක නොවන බව සිතනු ඇත. නමුත්, ගංජා භාවිතා කිරීම සහ මානසික අවපීඩනයද ඇතුළු මානසික රෝගී තත්ව අතර ප්‍රබල සම්බන්ධයක් ඇති බව පර්යේෂණ මගින් පෙන්වා දී ඇත. සාක්ෂි මගින් පෙන්වා දී ඇති පරිදි ඔබ ගංජා භාවිතා කරන්නේ නම්,:

  • එමගින් ඔබගේ රෝගී ලක්ෂණ අසාධ්‍ය තත්ත්වය ට පත් කරනු ඇත
  • ඔබට වඩා වෙහෙසකාරී බවක් සහ උද්‍යෝගයක් නොමැති බවක් දැනෙනු ඇත
  • ඔබගේ මානසික අවපීඩන තත්ත්වය කෙටි කාල පරාස ඇතුලතදී නැවත නැවතත් වැඩි වාර ගනනක් ඇති වනු ඇත
  • විශාදනාශක (antidepressant) ඖෂධ වලට හොදින් ප්‍රතිචාර නොදක්වනු ඇත
  • එසේම ඔබ විශාදනාශක ඖෂධ (antidepressant) ගැනීම නතර කිරීමට වැඩි ඉඩක් ඇත
  • ඔබ සම්පූර්ණ සුවයක් නොලැබීමට වැඩි ඉඩක් ඇත

ඔබ මත්පැන් ගන්නේ නම්, අධිකව දුම්පානය කරන්නේ නම් හෝ මත්ද්‍රව්‍ය භාවිතා කරන්නේ නම්, ඔබට උපකාර කිරීමට සහ උපදෙස් ලබාදීමට ඔබගේ වෛද්‍යවරයාට හැකිය.

රැකියාව සහ මුදල්

ඔබගේ මානසික අවපීඩන තත්ත්වය ඇතිවූයේ පමණට වඩා වෙහෙසවී වැඩකිරීම නිසා නම් හෝ එම තත්ත්වය නිසා ඔබගේ කාර්යක්‍ෂම බවට බලපෑම් ඇති වන්නේ නම් සුවය ලබා ගැනීම සඳහා ඔබ විවේකයක් ගැනීම අවශ්‍ය වේ. නමුත් අධික ලෙස විවේක ගැනීම මගින් ද මානසික අවපීඩන තත්ත්වය නරක අතට හැරවිය හැකි බවට සාක්ෂි ඇත. නැවත රැකියාවට යාම, ඔබට මානසික අවපීඩන තත්ත්වයෙන් සුවය ලබා ගැනීමට උපකාරයක් විය හැකි බවට යම් සාධක ඇත. අධික මානසික ආතතිය අවමකිරීම ඉතාමත් වැදගත් වන අතර එයට රැකියා ස්ථානයේ ආතති තත්වයන් ද අදාල වේ. රැකියා ස්ථානයේ පීඩාකාරී තත්වයන් නිසා ඔබගේ රෝග ලක්ෂණ උත්සන්න වන බවක් ඔබට දැනේ නම්, කෙටි කාල පරාස තුල වැඩ කිරීම හෝ වඩා නම්‍යශීලී ආකාරයක් තෝරා ගැනීම සිදුකල හැකිය.

මානසික අවපීඩන තත්වයෙන් පෙලෙන පුද්ගලයකු රැක බලා ගැනීම

මෙම රෝගීතත්වය නිසා පීඩාවට පත් වන්නේ රෝගයෙන් පෙලෙන පුද්ගලයා පමණක් නොවේ. ඔහුට සමීප අනෙක් අයද පීඩාවට පත් වේ. ඔබ මානසික අවපීඩන තත්ත්වයෙන් පෙලෙන පුද්ගලයකු පිලිබඳව සැලකිලිමත් වනවා නම්, එම පුද්ගලයා සමග ඔබේ ඇති සම්බන්ධතාවට සහ සාමාන්‍ය පවුල් ජීවිතයට පීඩනයක් ඇතිවිය හැකිය. ඔබට කුමක් කල යුතු දැයි සිතාගත නොහැකි වනු ඇත. සහය කණ්ඩායමක් සොයා ගෙන ඔබ හා සමාන තත්ත්වයේ සිටින අනෙක් අය සමග කතාබහ කිරීම මගින් ඔබට උපකාරයක් ලබාගැනීමට හැකි වනු ඇත. ඔබගේ විවාහ ජීවිතය තුළ හෝ ඔබගේ ආදර සබඳතාව තුල ගැටලු තිබේ නම්, ඔබ සහ ඔබගේ සහකරුවා සමග ඒ පිලිබඳව තොරතුරු කතා කල හැකි, එම ක්ෂේත්‍රය හා සම්බන්ධ උපදේශක වරයෙකු සමග සම්බන්ධ වීමෙන් උපකාර ලබා ගත හැකිය. මානසික අවපීඩන තත්ත්වයට පත් වූ විට ඊට උපකාර ලබා ගැනීමට, පිරිමි පාර්ශ්වයේ පෙලබීම කාන්තාවන්ට සාපේක්ෂව අඩු අතර මත්පැන් සහ මත්ද්‍රව්‍යවලට නැබුරු වීමේ ප්‍රවනතාව ඉහල වේ.

වියෝවීම් දරා ගැනීම

ඔබගේ සමීපතමයෙකුගේ වියෝව ඔබට මානසික අවපීඩන තත්ත්වයක් ඇති කිරීමට හේතු විය හැකිය. ඔබ ආදරය කල අයෙකු මියගිය විට, එම වියෝ වේදනාව කොතරම් ද යත්, ඔබට කිසිදා ඉන් මිදීමට නොහැකි වේ යැයි සිතෙනු ඇත. නමුත්, කාලයත් සමග සහ නිවැරැදි සහයෝගය සමගින්, ඔබට නැවත ඔබේ ජීවිතය ගොඩනගා ගැනීමට හැකියාව ලැබෙනු ඇත.

මානසික අවපීඩනය සහ සිය දිවි නසා ගැනීම

බහුතරයක් සිය දිවි නසා ගැනීමේ සිදුවීම් මානසික රෝගී තත්වයන්හා සම්බ්න්ධව සිදුවන අතර, ඒවයින් බොහෝමයක් සිදුවී ඇත්තේ උග්‍ර මානසික අවපීඩන තත්වයන් හේතුකොටගෙනය. මානසික අවපීඩන තත්ත්වයෙන් පෙලෙන අයෙකු සිය දිවි නසා ගැනීමට සිතන බව කල්තියා දැනගත හැකි ලක්ෂණ පහත පරිදි වේ:

  • තම අයිතිවාසිකම් පවරා දීම, තම අවසන් කැමැත්ත සැකසීම, මිතුරන්ට සමු දීම වැනි දේවල් සිදු කිරීම
  • මරණය හෝ සිය දිවි නසා ගැනීම පිලිබඳ කතා කිරීම- මෙය "මම මිය ගියා නම් හොඳයි " වැනි රිජු ප්‍රකාශයක් විය හැකිය. නමුත් බොහෝ විට මානසික අවපීඩන තත්ත්වයෙන් පෙලෙන පුද්ගලයන් ඒ පිලිබඳව, "මිය ගිය පුද්ගලයන් අපට වඩා සතුටෙන් ඉන්නවා යැයි මට සිතෙනවා" ආදී ලෙස හෝ "සදාකාලීන නින්දකට යන්න තිබේ නම් හොද නැත්ද" ආදී ලෙස වක්‍රාකාරයෙන් කතා කරයි
  • තම අත් පා කපා ගැනීම හෝ දුම්වැටි වලින් තමන්ව පුලුස්සා ගැනීම වැනි තම ශරීරයට හානි සිදු කර ගැනීම
  • ක්ෂණිකව මානසික තත්ත්වය යහපත් අතට හැරීම. එම පුද්ගලයා දිවි නසා ගැනීමට ගත් තීරණය පිළිබඳව සතුටු වනවා විය හැකි ය

ඔබට සියදිවි දිවි නසාගැනීමට සිතෙනවා නම් හෝ, මානසික අවපීඩන තත්ත්වය නිසා දැඩි මානසික අරගලයක පසු වනවා නම්, වහාම ඔබගේ වෛද්‍ය වරයා හමුවන්න.

මානසික අවපීඩන තත්ත්වයෙන් පසුවන මිතුරෙකුට හෝ ඥාතිවරයෙකු ට උපකාර කිරීම ඉහත සඳහන් කළ අවදානම් ලක්ෂණ ඔබ ඔබගේ මිතුරෙකුගේ හෝ ඥාතිවරයකුගේ දුටුව හොත්,:

  • ඔවුන්ව වෘත්තිය මට්ටමේ සහය ලබාගැනීම සඳහා යොමු කරන්න
  • ඔවුන් තනි වී නැති බව සහ, ඔබ ඔවුන් ගැන සිතන බව ඔවුන්ට දැනීමට ඉඩ හරින්න
  • ඔවුන්ගේ ගැටලුවට අමතර විසදුම් සොයා ගැනීම සඳහා ඔවුන්ට උපකාර කරන්න

එම පුද්ගලයා සිය දිවි නසා ගැනීමට අවදානමක් ඇති බව ඔබට දැනේ නම් එම පුද්ගලයා සමගම රැදී සිටින්න. එසේත් නැතිනම් වෙනත් පුද්ගලයෙකු එම පුද්ගලයා සමග රඳවන්න. එසේම දිවි නසා නසා ගැනීමට යොදාගතහැකි ද්‍රව්‍ය (ඖෂධ වර්ග වැනි) එම පුද්ගලයා අසලින් ඉවත් කරන්න. වෛද්‍ය නිර්දේශයකින් තොරව ලබාගත හැකි වේදනා නාශක ඖෂධ වැනි ඖෂධ ද, නිර්දේශිත ඖෂධ මෙන්ම අවදානම් සහගත විය හැකිය. එසේම, මුවහත් උපකරණ සහ නිවසේ පවතින විෂ සහිත රසායන ද්‍රව්‍ය සියල්ල ඉවත් කරන්න.